දැක්ම

ජනහිතකාමී සේවයක් මඟින් ජීවන තත්ත්වය නංවාලීම.

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සමාජ සම්බන්ධීකරණය හා ජන සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම සැලසුම් සහගත හා තිරසාර සංවර්ධන ක්‍රියාවලියක් තුලින් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජන දිවිය නංවාලීම.

ඓතිහාසික පසුබිම

    මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ජනාකීර්ණ කොට්ඨාශයකි. කොළඹ මහනුවර මහා මාර්‍ගයේ කෑගල්ල හා කඩුගන්නාව නගර අතර පිහිටා ඇත. මෙම කොට්ඨාශය මාවනැල්ල හා හෙම්මාතගම යන බල ප්‍රදේශ  02කින් යුක්ත වේ.මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ජනාකීර්ණ කොට්ඨාශයකි. කොළඹ මහනුවර මහා මාර්‍ගයේ කෑගල්ල හා කඩුගන්නාව නගර අතර පිහිටා ඇත. මෙම කොට්ඨාශය මාවනැල්ල හා හෙම්මාතගම යන බල ප්‍රදේශ  02කින් යුක්ත වේ.ක්‍රි.ව. 1821දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර තුමාගේ පාලන සමයෙහි කොළඹ - මහනුවර මාර්ගය නිර්මාණය කිරීමෙන් පසුව මෙම මා ඔය හරහා විශාල ආරුක්කු සහිත ගඩොල් පාලම ඉදිවිය. මෙම ආරුක්කු පාලම කොළඹ - මහනුවර මාර්ගයේ ඇති දිගම හා විශාලතම ගඩොල් පාලම වේ. ඒ නිසාම එය පෞරාණික වස්තුවක්‍ වශයෙන්ද ඓතිහාසික වශයෙන්ද ඉතා වැදගත් වේ.ඉංග්‍රීසි පාලන සමයේ උඩරට ප්‍රදේශයේ සිට කොළඹට කෝපි ප්‍රවාහනය කිරීමටද උඩරට වතු ප්‍රදේශ වලට අවශ්‍ය රෙදිපිළි ,ආහාර ද්‍රව්‍ය,ප්‍රවාහනය කිරීමටද,ඉංග්‍රීසි වතුකාරයින්ගේ ගමන් බිමන් වලටද අශ්ව කරත්ත භාවිතා කරන ලදී. එම අශ්වයින් ගාල් කරන ලද අශ්ව ගාල පිහිටුවා තිබී ඇත්තේද මාවනැල්ල මා ඔය අද්දරය. මාන නදිය අසල වූ කුඩා කදු ගැටය මත ඉංග්‍රීසීන්ගේ නවාතැන් සඳහා තානායමක් ඉදි කර තිබුණි. පසුකාලීනව එහි මාවනැල්ල ජනතාවගේ පරිපාලනමය කටයුතු ඉටු කරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. 1996 වසර මැද භාගය දක්වා එම පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිබූ අතර එතැන් සිට එම ස්ථානය අසල වර්තමානයේ ඉදි කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ. පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙහෙය වනු ලබන දිවිනැගුම මහා සංගමයද මාවනැල්ල කලාපයට අයත් දිවිනැගුම ප්‍රජා මූල බැංකුවද එම තානායම ඉවත්කර එහි ආරම්භ කිරීමට කටයුතු කර ඇත. එයින් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරනු ලැබේ. මෙලෙස ප්‍රදේශයේ පරිපාලන මධ්‍යස්ථානය වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද, අධ්‍යාපන මධ්‍යස්ථානය හා අධ්‍යාපන කාර්යාලයද මාවනැල්ල නගරයේ වෙළද මධ්‍යස්ථානයද සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා ‍රෝහලද උසාවි සංකිර්ණයද මාවනැල්ල ප්‍රදේශයේ ජනතාවට අනිකුත් අවශ්‍යතා සපුරාලන විවිධ කාර්යාලද පිහිටුවීමෙන් මාවනැල්ල කොට්ඨාශය මහත් සේවාවන් රාශියක් ඉටු කරන මධ්‍යස්ථානයක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයටද කේන්ද්‍රස්ථානයක් වන නගරයක් බවට පත් කර ඇත.ලිඛිත ඉතිහාසය අල්ප වුවද ජනශ්‍රැති හා ජනප්‍රවාද සලකා බලන විට මුල් ආර්ථික යුගයටත් පෙර මෙහි ජනාවාස පවතින්නට ඇති බව පෙනේ. ලිඛිත ඉතිහාසයට අනුව දුටුගැමුණු රාජ්‍ය සමයේ එතුමා විසින් කරවන ලද ලෝවාමහාපායේ වහල සෙවිලි කිරීමට උළු සකස් කර ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය‍ට අයත් තඹවිට ප්‍රදේශයෙන් බව සඳහන් වේ.අනුරාධපුරය ආක්‍රමණය කරන ලද සොලීන් පස් දෙනාගෙන් බේරීම සඳහා වලගම්බා රජු සැඟව සිට සේනා එකතු කරන ලද්දේ ද මායා රටේ සිටය. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවෙල, යටිමහන, අලුත්නුවර, පදීදොර, කූරගල යන ගම්වල එතුමා වාසය කර ඇති බවට තොරතුරු ඇත. මායා ර‍ටේ ඒකරාශී කරන ලද දහස් ගණන් වූ සේනාව දාස්වත්ත ගමේ ඒක රාශී වී සිටි බවට තොරතුරු ඇත. පඩුවස්දෙව් රජුගේ දිවි දෝෂ දුරු කොට සුවපත් කිරීමට මලේ රජවරුන් සමඟ පැමිණි උයන්පල්ලා කඩවර නමින් පුදනු ලැබූ අතර ඔහු මාකඩවර පදිංචි වී ඇත. පොළොන්නරු රාජධානි සමයේදී මාවනැල්ල හෙවත් ගල්බොඩ කෝරළය සමඟ මළය රට සබඳතා පවත්වා ඇත. ගම්පොල විසූ හතරවැනි බුවනෙකබාහු රජතුමා මෙම ප්‍රදේශයේ බොහෝ ශාසනික සේවාවන් සිදු කර ඇත. කෝට්ටෙ රාජධානිය සමඟ අම්බුළුගල ඉමහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත. මහනුවර රාජධානිය ආරම්භයේ පටන් බලන හරහා එම රාජධානියට වන සතුරු ආක්‍රමණ වලක්වාලීම සඳහා මාවනැල්ල ජනතාව උපකාර වී ඇත.මහනුවර 11 රාජසිංහ රජු සමයේ මාවනැල්ල ප්‍රදේශයේ වීරයන් රාශියක් බිහි වී සිට ඇති අතර හිඟුලේ සිටි සෙනවියකුද දවුන්ඩ සම්මානයෙන් පිදුම් ලබා ඇත. 11වන රාජසිංහ රජුගේ මල්ලව පොර ශූරිය පැරද වී යැයි කියන ශ්‍රී වික්‍රම සේනාරත්න භුජංගසිංහ දසනායක මුදියන්සේ (පොල් හේන්ගොඩ අප්පුහාමී)කප්පාගොඩ පදිංචි කරුවෙකු බව කියවේ. රාජසිංහ රජු දිය නාමින් සිටියදී ආරකු (කිඹුලකු) විසින් ඩැහැගෙන යන්නට තැත් කළා යැයි කියන ඇළ පිහිටා ඇත්තේද අරකොට වැල්ලේය. එයද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇත. 1997 වසරේ මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මෙහෙය වීමෙන් එම දිය ඇළ පිහිටි උල්පත් ස්ථානයේ ඇති ළිද අරකොටවැල්ල ජනතාව සඳහා පානීය ජලය ලබා දීමට උපයෝගී කරගෙන ඇත. මහනුවර රාජධානිය අවසානයේ සිටි රජකුමරුන් තිදෙනකුට අකුරු කළා වු වැලිවිට සරණංකර අසරණ සරණ නාහිමිපානන් හට පාළි භාෂාව හා ව්‍යාකරණය ඉගැන්වූ ද කාය ශක්තියෙන් හා කඩු හරඹයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පවා විශ්මිත කළ ලෙව්කේ රාළ විසූ ලෙව්කේ ගමද විවිධ විර ක්‍රියාවන්හි යෙදුනු බව පැවසෙන සූර සරදියෙල් පදිංචි වී සිටි උතුවන්කන්ද ද මාවනැල්ල කොට්ඨාශයේ පිහිටි ඓතිහාසික ගම්මාන වේ.බෞද්ධ සංස්කෘතිය විදහා දක්වෙන ඓතිහාසික සිද්ධස්ථාන ගණනාවක්ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. කොළඹ - මහනුවර මහාමාර්ගයේ උතුවන්කන්ද හන්දියෙන් හැරී යන පාරේ දෙහිමඩුවෙන් හැරුනු විට අම්බුළුගල දන්තපාය මහා විහාරය  පිහිටා ඇත. අද එහි දර්ශනීය පිළිම විනාශ වෙමින් පවතී. එහි ශ්‍රීපාද ප්‍රතිලාංඡනය හා වටිනා ආගමික කලා නිර්මාණ තිබී ඇත. බෞද්ධ සංස්කෘතිය විදහා දැක්වෙන ඓතිහාසික සිද්ධස්ථාන ගණනාවක්ද මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා පිහිටා ඇත.  කොළඹ - මහනුවර මාර්ගයේ කඩුගන්නාව අම්බලම අසලින් පහලට යන මාර්ගයේ මාවෙල රජමහා විහාරය පිහිටා ඇත. මාවෙලද ඓතිහාසික වටිනාකමකින් යුතු ගම්මානයකි. 1815දි පැවති බලන සටනේදී සිදු වූ මරණ වලින් ඇති වූ රුධිරය ගලා ආ ඇල මාර්ගය එම යුගයේ මහලේ ඇල නමින් ව්‍යවහාරයේ පැවතී ඇත. කාලයාගේ ඇවෑමෙන් එය මාවෙල නම් වී ඇත . මාවෙල රජමහා විහාරයේ ගම්පල යුගයට අයත් කුඩා චෛත්‍යක්ද දහඅට රියන් සැතපෙන බුදු පිළිමයක් ද ඊට මුහුණලා විශ්ණු දේව රූපයක්ද විහාර මුදුන් පියසේ මැකී ගොස් ඇති චිත්‍රද දිරා ගිය දැව වියන හා දැනට ජරාවාස වී ඇති සංඝාවාසයද ඇති අතර ක්‍රි.ව.1වැනි සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර අද වන විටත් දක්නට ලැබේ. මාවනැල්ල බැද්දවල මාර්ගයෙන් යා හැකි පෞරාණික බෞද්ධ වටිනාකමකින් යුතු යටිමහන බුළුලෙන විහාරයේ වලගම්බා රජු සැඟවී සිටි බව කියවේ. මහනුවර සමයේ මොල්ලිගොඩ අදිකාරම් විසින් කරවන ලදැයි කියැවෙන සෙනවිරත්න මුදලින්දාරාමය දොඩන්තලේ පිහිටා ඇත.  එමෙන්ම එවකට හිඟුල රජමහා විහාරයට පළමු වැනි රාජසිංහ රාජ්‍ය සමයේ මහත් වැදගත්කමක් දක්වා ඇත්තේ රජු දුටු සිහිනයක් නිසා භික්ෂූන් රැස් කරවා දන් දී දෙවියන් සමා කරන ලද නිසා යැයි ජනප්‍රවාදයේ දැක්වේ. යාපහුව යුගයට අයත් අළුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයද මාවනැල්ල කොට්ඨාශයේ පිහිටා ඇත. අද දක්වා එම ස්ථානය දැඩි භක්තියෙන් යුතුව ආගමික වතාවත් සඳහා යොදා ගනී. ඉංග්‍රීසි පාලන සමයේ අශ්ව කරත්තවල උපකාරයෙන් වෙළඳ කටයුතුවල යෙදුනු වෙළදුන්ගේ හා මගීන්ගේ ගිමන්හලක් වශයෙන් ප්‍රයෝජනයට ගත් කඩුගන්නාව අම්බලමද මාවනැල්ල කොට්ඨාශයේ ඓතිහාසික වැදගත්මක් ඇති ස්ථානයකි. මෙවන් ඓතිහාසික වැදගත්කමින් වලින් යුතු මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වර්‍තමානයේ සීඝ්‍රයෙන් සංවර්ධනය කරා ගමන් කරන කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් සුවිශේසී පරිපාලන කේන්ද්‍රස්ථානයක් වී ඇත.

වර්ෂාපතනය
කෑගල්ල දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනයක් ලබන කලාපයට අයත් වන මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී.2000-3000 අතර වේ. මෙම ප්‍රදේශයට අයත් වන මාවනැල්ලෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී.2373ක් පමණ වේ. වර්ෂාපතනයේ සෘතුමය ස්වරූපය සැලකීමේදී දිස්ත්‍රික්කයේ මැද රට හා පහත රට තෙත් කලාපීය ලක්ෂණ ඇති කොට්ඨාශයක් වන බැවින් වර්ෂාපතනය වර්ෂය පුරා පැතිරුන ස්වභාවයක් දක්නට ලැබේ.
 
උෂ්ණත්වය
මෙම කොට්ඨාශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 24-31 ත් අතර වේ. උන්නතාංශය අනුව උෂ්ණත්වයේ විචලනයනන් සිදු විය හැකිය.පසමාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රධාන පස් වර්ගය නොගැඹුරු ලෝම පස වේ. එමෙන්ම රතු දුඹුරු ලැටසොලික් පසට අමතරව ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ප්‍රමුඛ පස් වර්ගය වන රතු කහ පොඩ්සොලික් පසද ඇත.
 
භූ විෂමතාවය සහ ජලවහනය
කෑගල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටා ඇති බෑවුම් සහිත ප්‍රදේශයක් වන මෙ කොට්ඨාශයේ නැගෙනහිර දිගින් අලගල්ල කඳුවැටිය පිහිටා ඇත. කොට්ඨාශයේ මුහුදු මට්ටමේ සිට උච්චතම ස්ථානය අඩි 3390ක් වූ අලගල්ල කන්ද ලෙස සලකුණු වී ඇති අතර ප්‍රදේශයේ උච්චත්වය අනුව ප්‍රධාන සමෝච්ඡ රේඛා 06ක් හඳුනාගෙන ඇත. එනම්  
අඩි 500ට අඩු කලාපය
අඩි 500-1000ත් අතර කලාපය
අඩි 1000-1500ත් අතර කලාපය
අඩි 1500-2000ත් අතර කලාපය
අඩි 2000-2500ත් අතර කලාපය
අඩි 2500-3000ත් අතර කලාපය
 
කොට්ඨාශයේ ප්‍රධාන ස්වභාවික ජල ප්‍රවාහය වන්නේ මා ඔයයි. කුඩා ඔය,හිඟුල් ඔය,තලගොල්ල ඔය යන අතු ගංඟා මෙම කොට්ඨාශයේ ඇති අනෙක් ජල ප්‍රභවයන් ලෙස මා ඔය පෝෂණය කරන මෙම අතු ගංඟාවන් මා ඔයේ පෝෂක ප්‍රදේශය ලෙසද කටයුතු කරයි.

සමාජයීය හා ආර්ථික පසුබිම
මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 71න් සමන්විත වන අතර එයට ගම් 177ක් ඒකරාශී වී ඇත. සාපේක්ෂව බලන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ක් අතරින් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය භූමියේ විශාලත්වයෙන් නවවැනි ස්ථානය හිමිකර ගන්නා අතර ජනගහනය සැලකීමේදී වැඩිම ජනගහනයක් ජීවත් වන කොට්ඨාශයකි. ප්‍රදේශයේ ප්‍රධාන වැවිලි බෝගය රබර් වගාව වන අතර ප්‍රධාන භූමි පරිභෝජනය වන්නේ කෘෂිකර්මයයි. කොට්ඨාශයේ මුළු ජන සංඛ්‍යාව 2015.12.31 දිනට ග්‍රාමීය මට්ටමෙන් එක් කල දත්ත වලට අනුව 127,848 ක් වන අතර සමස්ථයක් ලෙස දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට සාපේක්ෂව අධික ජන ඝනත්වයක් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි. කෘෂිකර්මය මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත තුල පවතින වෙළඳ ආර්ථිකයක් මත පදනම් වූ ජීවන රටාවක් කොට්ඨාශය තුල ගොඩනැගී ඇති බව හඳුනා ගත හැකිය.කොළඹ-මහනුවර මාර්ගයේ මාවනැල්ල නගරය පිහිටීම ප්‍රදේශයේ කෘෂි ආර්ථික නිෂ්පාදන වන කෝපි, තේ,රබර්,පොල්,පුවක් ද පළතුරු ධාන්‍ය වර්ගද ගම්මිරිස්,කරාඹු නැටි,කොකෝවා වැනි සුළු අපනයන භෝගද වෙළඳ ද්‍රව්‍ය වශයෙන් අලෙවිය සඳහා ජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් වී ඇත. එනිසාම මාවනැල්ල නගරය ජනාකීර්ණ නගරයක් බවට පත්වී ඇති අතර ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා සපයාලන ආර්ථික මධ්‍යස්ථානය බවට ද පත්වී ඇත.   

ඓතිහාසික ස්ථාන
අලුත්නුවර දේවාලය
කඩුගන්නාව අමිබලම
දනකිරිගම ගල්ලෙන් විහාරය
දෙවනගල පුරාන මහා විහාරස්ථානය
බෙලිගමිමන පුරාන මහා විහාරස්ථානය
මාවනැල්ල පැරණි ගඩොල් පාලම
උතුවන් කන්ද සරදියල් ගම
අලගල්ල ගල
 

Role performed at DS

Name From To
සී.එල්.රත්වත්ත මයා   1946
ටී.බී.නාරංපනාව මයා 1946 1950
ඩබ්.පී.හඳගම මයා 1950 1953
ශර්ලි තෙන්නකෝන් මයා 1954 1956
හුලංගමුව මයා 1956 1958
ජේ.ඩී.බණ්ඩාරනායක මයා 1958 1960
එච්.ඩබ්.ලෝවර් මයා 1960 1963
ඒ.බී.නාදුරන මයා 1963 1968
සී.බී.වලිසුන්දර මයා 1969 1980
ජේ.සී.යටවර මයා 1981 1983
විමල් පෙරේරා මයා 1983 1984
ආර්.එම්.ආර්.මොන්නෑකුලම මයා 1984 1986
එම්.එම්.ඩබ්.පී.බී.ඒකනායක මයා 1986 1987
ජේ.එම්.ඩී.සිරිවර්ධන මයා 1987 1989
ඩබ්.ගොඩවෙල මයා 1989 1990
කේ.එම්.සෝමරත්න මයා 1990 1993
පද්මජිනා සිරිවර්ධන මිය 1993 1995
ඩබ්.එම්.ඒ.වනසූරිය මයා 1995 2005
ඩබ්.එම්.චන්ද්‍රසිරි මයා 2005.02.01 2005.05.16
එල්.ඒ.පී.යූ.ලියනාරච්චි මයා 2005.05.17 2009.08.27
ඩබ්.එම්.ආර්.බී.විජේකෝන් මයා 2009.08.27 2009.11.19
ටී.ගාමිණී මුණසිංහ මයා 2009.12.12 2010.08.16
ඒ.ඩබ්.රුක්මණී ආරියරත්න මිය 2010.09.02 2013
එම්.එම්.පී.පී.පෙතන්ගොඩ මිය 2013  2021
වී.ඕ.එල්.එස්. රත්නසේකර 2021 මේ දක්වා

News & Events

22
ජූනි2026
Walk For Peace - 2026

Walk For Peace - 2026

මුළු මහත් ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන...

22
ජූනි2026
INQUIRIES

INQUIRIES

Scroll To Top